සංවිධාන ධූරාවලියේ (organisation structure) විවිධ කළමණාකරණ මට්ටම් (management levels) වලට අදාල කළමණාකරුවන් සතුවිය යුතු හා ප්‍රගුණ කළයුතු කුසලතා වර්ග තුනක් රොබර්ට් එම් කැට්ස් (Robert M Katz) විසින් හඳුන්වාදී ඇත.
- සංකල්පනාත්මක කුසලතා - (Conceptual Skills)
- මානව කුසලතා (අන්තර් පුද්ගල කුසලතා) (Human Skills)
- තාක්ෂණික කුසලතා (Technical Skills)
ආයතනයක එකිනෙකට බැඳුනු සංකීර්ණ ගැටලු සියල්ල හඳුනාගෙන එම ගැටලුවේ සමස්ථය දැකීමේ හැකියාව (see the big picture), ඒවා විසඳීම සඳහා උපක්‍රම හා ක්‍රියාදාම (strategies, tactics and processes) පිලිබඳව අවබෝධය. එමෙන්ම නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම (opportunities) මෙන්ම ආයතනයට දීර්ඝකාලීනව ඇතිවිය හැකි අනතුරු හා තර්ජන හඳුනාගෙන (threats and dangers) ඒවා වැලැක්වීමට සැළසුම් සකස් කිරීමේ හැකියාව. ආයතනයේ අනාගත අභිවෘද්ධිය පිනිස නව උපායමාර්ග හා සංකල්ප බිහිකිරීමේ හැකියාව (new strategies and concepts), දූරදර්ශී බව (long term vision), ආදී චින්තන හැකියාවන් සංකල්පනාත්මක කුසලතා ලෙස හැඳින්වේ.
මානව කුසලතා (අන්තර් පුද්ගල කුසලතා) (Human Skills)
මානව කුසලතා හෙවත් අන්තර් පුද්ගල කුසලතා යනු, සේවක සේවිකාවන් ලවා මිත්‍රශීලීව කාර්යයන් ඉටුකර ගැනීමට කළමණාකරුවෙකු සතු හැකියාවයි. මෙම කුසලතාවය තුල, අන් අයගේ මානසික මට්ටම් හඳුනාගැනීමේ හැකියාව (empathy), නායකත්වය ලබාදීමේ හැකියාව (leadership), සන්නිවේදන හැකියාව (communication), අභිප්‍රේරණ හැකියාව (motivation), කණ්ඩායමක් බිහිකිරීම හා පවත්වාගැනීමේ හැකියාව (team building) ආදී හැකියාවන් රැසක් පවතී.
තාක්ෂණික කුසලතා (Technical Skills)
යම් විෂය ක්ෂේත්‍රයක් පිලිබඳව කළමණාකරුවෙකු සතුවිය යුතු විශේෂඥ දැනුම හා කුසලතා තාක්ෂණික කුසලතා ලෙස හඳුන්වනු ලබයි. මෙම විශේෂඥ දැනුම, ආයතනයේ ඉලක්ක හා අරමුණු සාධනය කරගැනීම සඳහා වැදගත්වූ විෂය පථයක එකක් වීම වැදගත්ය. මෙම විෂය පථය මූල්‍ය හා ගිණුම්, අළෙවිකරණ, නිෂ්පාදන, තොරතුරු තාක්ෂණය, හෝ වෙනත් විශේෂිත විෂයක් අලලා විය හැකිය.
උදාහරණයක් ලෙස වාණිජ බැංකුවක කළමණාකරුවන් සතුව බැංකු ක්ෂේස්ත්‍රයේ විවිධාකාවූ විෂයන් ගෙන් එකක හෝ කිහිපයක දැනුම විය හැකිය. රබර් භාණ්ඩ නිෂ්පාදන සමාගමක නම් රබර් ආශ්‍රිත නිශ්පාදන තාක්ෂණයන් පිලිබඳව තාක්ෂණික දැනුම විය හැකිය.
කළමණාකරණ මට්ටම් හා කළමණාකරණ කුසලතා අතර අන්තර් සම්බන්ධය
සංකල්පනාත්මක කුසලතා - (Conceptual Skills) : අග්‍ර කළමණාකරුවන්ට ඉතාමත් වැදගත්ය. මෙයට හේතුව ඔවුන් සිය කාළයෙන් බොහෝ ප්‍රමාණයක් ආයතනයේ වර්තමාන තත්වය විෂ්ලේෂණය කිරීම, ව්‍යාපාරික පරිසරය විෂ්ලේෂණය කිරීම, ආයතනය මුහුණදෙන භාරධූර ගැටලුවලට විසඳුම් සෙවීම, ආයතනයේ අනාගතය වෙනුවෙන් උපායමාර්ග සැලසුම් සකස් කිරීම ආදී මොලය වෙහෙසා සිදුකරණ සංකල්පනාතමක ක්‍රියාකාරකම් වල වැඩි වශයෙන් නිරතවීමයි.
මැදපෙල කළමණාකරුවන්ට මෙම කුසලතාවය යම් ආකාරයට වැදගත් වන්නේ ඔවුන්ට සිය දෙපාර්තමේන්තුව හෝ ඒකකයේ සැලසුම් සකස් කිරීම, ගැටලුවලට විසඳුම් සෙවීම හා ඒ ඇසුරින් අග්‍ර කළමණාකාරිත්වය සම්පාදනය කරන ලද උපායමාර්ගික සැළසුම් සාධනය කරගැනීමට ක්‍රියත්මකවීමට සිදුවීමයි.
පලමු පෙල කළමණාකරුවන්ට මෙම කුසලතාවය එතරම් වැදගත් නොවන්නේ ඔවුන් ආයතනයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු (operational activities) කළමණාකරණය, නායකත්වය දීම හා උපදෙස් දීමේ නිරතවන නිසාය.
මානව කුසලතා (අන්තර් පුද්ගල කුසලතා) (Human Skills) : සෑම කළමණාකරණ මට්ටමකටම එකසේ වැදගත්ය. කළමණාකරුවෙකු ලෙස සාර්ථක වීමට නම් තමන් යටතේ සිටින සේවක සේවිකාවන් අභිප්‍රේරණය කොට, ඔවුන්ට නායකත්වය ලබාදී, ඔවුන් ලවා උපරිම ඵලදායි ආකාරයට කාර්යසාධනය සිදුකර ගැනීමට හැකියාවක් තිබිය යුතු අතර, මේ සඳහා වර්ධනය වූ මානව කුසලතා ඉතා වැදගත්ය.
තාක්ෂණික කුසලතා (Technical Skills) : මෙම දැනුම වඩාත් වැදගත් වන්නේ මුල් පෙල කළමණාකරුවන් හටය. මෙයට හේතුව ඔවුන් කෙලින්ම නිෂ්පාදන හෝ සේවා සම්පාදන කටයුතුවල නිරතවන සේවක සේවිකාවන් මෙහෙයවීමේ නිරතවීමයි. ඔවුනට උපදෙස් දීමට, පුහුණුව ලබාදීමට නිසි ඵලදායිතාවයකින් සේවය ලබාගැනීමට තාක්ෂණික කුසලතා ඉතාමත් වැදගත් වේ.
Comments
Post a Comment