YEAR 13 / 2017 Syllabus - Lesson 06 : තීරණ ගැනීම | Decision Making


LESSON OUTCOMES

1. තීරණ ගැනීම යන සංකල්පය පැහැදිලිකල හැකිවීම
2. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ පියවර පිලිවෙලින් පෙළගැස්වීමට හැකිවීම
3. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ එක් එක් පියවර පැහැදිලි කල හැකිවීම
4. තීරණ ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් කිසියම් ගැටලුවක් සඳහා යෝග්‍ය තීරණ ගත හැකි වීම.

ගැටලුවක් යනු කුමක්ද?

  • පවතින තත්වය (existing situation) හා අපේක්ෂිත තත්වය (desired situation) අතර ඇති වෙනස ගැටලුවක් ලෙස අර්ථ දැක්විය හැකිය. 
  • වෙනත් ආකාරයකට පවසනවා නම්; දැන් පවත්නා තත්ත්වයට (status quo) ප්‍රමිතියට (standard) හෝ සම්මතයට (norm) වඩා වෙනස් තත්වයක් ගැටලුවක් ලෙස විස්තර කල හැකිය.
විසඳුමක් යනු කුමක්ද?

පවතින තත්වය හා අපේක්ෂිත තත්වය අතර වෙනස අවම කල හැකි හෝ ශුන්‍ය කල හැකි යම් ක්‍රියාමාර්ගයක් හෝ තීරණයක් විසඳුමක් ලෙස සැලකිය හැකිය.

විකල්ප විසඳුම්

ගැටලුවක් එනම් පවතින තත්වය හා අපේක්ෂිත තත්වය අතර ඇති වෙනස, අවම කිරීම හෝ ශුන්‍ය කිරීම විසඳුමක් වන අතර ගැටලුවකට විසඳුම් ගණනාවක් එනම් වෙනස අවම හෝ ශුන්‍ය කිරීමේ ක්‍රියාමාර්ග ගණනාවක් තිබිය හැකිය. මේවා විකල්ප විසඳුම් ලෙස හැඳින්වේ.


තීරණයක් යනු කුමක්ද?

විවිධ විකල්ප අතුරින් යෝග්‍යතම විකල්පය තෝරා ගැනීමයි

තීරණ ගැනීමේ ක්‍රියාවලිය

ගැටලුව නිසි ලෙස අවබෝධ කරගෙන, විකල්ප විසඳුම් සොයා බලා, ඉන් සුදුසුම විකල්පය  තෝරා ගැනීමේ ක්‍රියාවලිය තීරණ ගැනීමේ ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකිය.

මෙම ක්‍රියාවලියේ පියවර පහත අයුරින් දැක්විය හැකිය;

  • ගැටලුව පැහැදිලිව හඳුනාගැනීම - ගැටලුව කුමක්දැයි නිශ්චිතවම පැහැදිලි කරගත යුතුය. යම් යම් අවස්ථාවලදී මතුපිටින් පෙනෙන ගැටලුවට වඩා සැබෑ ගැටලුව වෙනස් විය හැකිය.
  • ගැටලුව විශ්ලේෂණය කිරීම - ගැටලුවට සම්බන්ධ පාර්ශව, අභ්‍යන්තර හා බාහිර හේතු, එම හේතුවලට බල පෑ වෙනත් කරණු ආදිය පිලිබඳව පැහැදිලිව විශ්ලේෂණය කිරීම, විසඳුම් සෙවීමේදී පහසුවක් වේ.
  • විකල්ප විසඳුම් ගොඩනැගීම - ගැටලුවට විසඳීම හෝ සෘණාත්මක ප්‍රතිපල අවම කර හැකි විසඳුම් කිහිපයක් සකසා ගත යුතුය. 
  • විකල්ප විසඳුම් අගැයිම (විශ්ලේෂණය) - සෑම විසඳුමකටම බැඳුනු මූළ්‍යමය පිරිවැය හා වෙනත් පිරිවැය ගණනාවක් තිබිය හැකිය. උදාහරණයක් ලෙස විසඳුම ක්‍රියාත්මක කිරීමේදී යම් යම් වියදම් කිරීමට සිදුවීම මූල්‍යමය පිරිවැයකි. ඊට අමතරව එම විසඳුම ක්‍රියාත්මක කිරීමේදී සේවක-සේවිකාවන්ට අමතර බරක් පැටවෙන්නේ නම් එයද යම් ආකාරයක පිරිවැයකි. එම විසඳුමට සේවක-සේවිකාවන්ගෙන් යම් ප්‍රතිරෝධයක් එල්ලවිය හැකි නම්, එම ප්‍රතිරෝධ අමතර ගැටලු ඇතිකල හැකිය. එම ගැටලුද විසඳුමේ මූළ්‍යමය නොවන පිරිවැයක් ලෙස ගත හැකිය. මේ සියල්ලම සූක්ෂම ලෙස අධ්‍යයනය නොකොට විසඳුම ක්‍රියාත්මක කිරීමට යාමේදී විශාල ගැටලු හා බාධා ඇතිවිය හැකිය.
  • හොඳම විකල්පය තේරීම - හොඳම විකල්පය විය යුත්තේ වඩාත්ම ප්‍රායෝගික, දැරිය හැකි පිරිවැයකින් ක්‍රියාත්මක කල හැකි, ආයතනයේ වෙනත් කටයුතුවලට බලපෑම අවම වන විසඳුමයි.
  • හොඳම විකල්පය ක්‍රියාත්මක කිරීමට සැලැස්මක් සෑදීම - තෝරාගත් විකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සැකසිය යුතුය. මෙම සැලැස්ම තුල, විකල්පය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය සම්පත්, ක්‍රියාත්මක කල යුතු ආකාරය, සැළකිලිමත් විය යුතු කරුණු, එය ක්‍රියාත්මක කල යුතු කාල පරාසය, සිදුකල යුතු වෙනස් කම්, දැනුවත් කල යුතු හා පුහුණු කල යුතු සේවක සේවිකාවන්, ක්‍රියාත්මක කිරීමේ වගකීම් බෙදාහැරෙන ආකාරය, ආදී සියල්ලම ඇතුලත් විය යුතුය. එමෙන්ම අයවැය ලේඛණ සකස් කිරීම, අත්පත් කරගත යුතු ඉලක්ක  හඳුනාගැනීම යනාදියද සැලැස්ම තුල තිබිය යුතුය.
  • සැලැස්ම ක්‍රියාතමක කිරීම - සැලැසුම් කල පරිදි සැලැස්ම ක්‍රියාත්මක කිරීම මෙම පියවරෙන් සිදුවේ.
  • අගැයිම හා ප්‍රතිපෝෂණය - සැලසුම ක්‍රියාත්මක වූවාද, විසඳුම සාර්ථකද, කලින් හඳුනාගන්නට නොහැකිවූ වෙනත් ගැටලු විසඳුම ක්‍රියාත්මක කිරීම නිසා හටගෙන ඇත්ද, බලාපොරොත්තු වූවාට වඩා සේවක ප්‍රජාවගෙන් හා/හෝ වෙනත් ඇල්මැති පාර්ශවයන් ගෙන් (පාරිභෝගිකයින්, සැපයුම් කරුවන්) එම විසඳුමට ප්‍රතිරෝධයක් එල්ල වන්නේද යන්න සලකා බැලීම හා එවැනි ප්‍රතිපෝෂණයන් වලට ප්‍රතිචාර ලෙස සැලැස්මේ හෝ විසඳුමේ වෙනස්කම් සිදුකල යුතුද යන්න සොයා බැලීම මෙම පියවරෙන් සිදුවේ.


Comments