YEAR 13 / 2017 Syllabus - Lesson 03 : කළමණාකරණ මට්ටම් | Management Levels


ආයතනයක්, ව්‍යාපාරයක් හෝ සංවිධානයක් තුල විවිධ මට්ටම් වල කළමණාකරුවන් සිටිති. මොවුන් සිටින මට්ටම තීරණය වන්නේ ඔවුන් හොබවන බලතල හෙවත් අධිකාරිය අනුවයි.

කළමණාකරුවන් වර්ග | විවිධ කළමණාකරණ මට්ටම්

1/ අග්‍ර කළමණාකරුවන් - Top Managers
2/ මධ්‍ය කළමණාකරුවන් - Middle Managers
3/ පලමු පෙල කළමණාකරුවන් - First Line Managers

අග්‍ර කළමණාකරුවන්

මොවුන් සභාපති (Chairman), කළමණාකරණ අධ්‍යක්ෂක (Managing Director), අධ්‍යක්ෂක (Director), ප්‍රධාන විධායක නිළධාරී (Chief Executive Officer), ප්‍රධාන මෙහෙයුම් නිළධාරී (Chief Operating Officer), ප්‍රධාන මූළ්‍ය නිළධාරී (Chief Finance Officer) වැනි තනතුරු වලින් හඳුන්වයි.

වාණිජ ව්‍යාපාරයක් දෙස බලන කල බොහෝ ව්‍යාපාරවල අග්‍ර කළමණකාකරුවෙන් එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් බව දැකිය හැකිය. කෙසේ වෙතත් මෙය ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැකි බවද සළකන්න.

සංස්ථාපිත ව්‍යාපාර ආයතනයක (Incorporated business) අධ්‍යක්ෂක මණ්ඩළයේ සාමාජිකත්වය පිලිබඳව තීරණය වන්නේ එම ආයතනයේ සාංගමික ව්‍යවස්ථාවලිය (Articles of Association) අනුවය.

සමහර ආයතනවල අග්‍ර කළමණාකරුවන් කිහිප දෙනෙකු පමණක් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩළයේ (Board of Directors) සාමාජිකයන් වන අතර සෙසු අග්‍ර කළමණාකරුවන් එහි විධායක කමිටුවේ (Executive Committee) නැත හොත් අග්‍ර කළමණාකරුවන් කණ්ඩායමේ (Top Management Team) සාමාජිකත්වය හොබවයි.

අග්‍ර කළමණාකරුවන් සතු වගකීම්;

  1. ආයතනයේ අවසන් තීරකයින් ලෙස කටයුතු කිරීම (සැළසුම් හා මෙහෙයුම් මොවුන්ගේ අනුමැතිය නොමැතිව ක්‍රියාත්මක කල නොහැකිය)
  2. එහි ඉදිරි ගමන් මග සැළසුම් කිරීම 
  3. උපාය මාර්ග (strategy) නිර්ණය කිරීම 
  4. උපායමාර්ගික සැළසුම් සකස් කිරීම (strategic plans)
  5. ආයතනික ප්‍රතිපත්ති (corporate policies) සම්පාදනය
  6. මධ්‍ය කළමණාකරුවන් අධීක්ෂණය කිරීම

ආයතනයේ ඉහලම බලයක් හෙවත් අධිකාරියක් මොවුන් සතුවේ.

මධ්‍ය කළමණාකරුවෝ

ආයතනයේ ප්‍රධාන දෙපාර්තමේන්තු ප්‍රධානීන් (department heads) හෝ අංශවල ප්‍රධානීන් (division heads) ලෙස පත්වන්නන් මධ්‍ය කළමණාකරුවන් ලෙස සලකයි.

අග්‍ර කළමණාකාරිත්වය සම්පාදනය කරන උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම මධ්‍ය කළමණාකරුවන් වෙත පැවරේ. මෙම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේතු (department plans) හෝ අංශ සැළසුම් (divisional plans) මොවුන් විසින් සකස් කරනු ලැබේ.

උදාහරණයක් ලෙස අග්‍ර කළමණාකාරිත්වය "වෙළඳ පොල කොටස  වේගවත්ව ඉහල දමා ගැනීම" උපාය මාර්ගයක් ලෙස හඳුනාගෙන ඇති විටෙක, එම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අලෙවිකරණ සැළසුම් (marketing plan) සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීමේ වගකීම අලෙවි කළමණාකරුට තිබේ. අලෙවි කළමණාකරු මධ්‍ය කළමණාකරුවෙකි.

මධ්‍ය කළමණාකරුවන් සතු වගකීම්;

  1. පලමු පෙල කළමණාකරුවන් අධීක්ෂණය හා පාලනය
  2. පලමු පෙල කළමණාකරුවන් හා අග්‍ර කළමණාකරුවන් අතර සම්බන්ධීකරණය
  3. අග්‍ර කළමණාකරුවන්ට තීරණ හා සැළසුම් සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය
  4. අග්‍ර කළමණාකරුවන් සකස්කරන උපායමාර්ග හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
  5. පලමුපෙල කළමණාකරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වගකීම

පලමු පෙල කළමණාකරුවන් 

සේවකයින්, ගණදෙනුකරුවන්, සැපයුම්කරුවන් ආදීන් සමග සෘජු ලෙසම සම්බන්ධවන කළමණාකරුවන් කොටස පලමු පෙල කළමණාකරුවන් ලෙස සැලකේ.

ආයතනයේ සේවක සේවිකාවන් වැඩි දෙනෙකු පලමු පෙල කළමණාකරුවෙකුට රපෝතු කරනු ලබන අතර ඔවුන් කාර්යසාධනය සඳහා යෙදවීම, අධීක්ෂණය, පුහුණුව ලබාදීම, ගැටලු විසඳාදීම පලමු පෙල කළමණාකාරිත්වයට ඇති වගකීමකි.

මෙහිදී පලමු පෙල කළමණාකරුවන්, මධ්‍ය කළමණාකරුවන්ගේ උපදෙස්, මගපෙන්වීම්, නිර්දේශ හා සැළසුම් ක්‍රියාත්මක කරනු ඇත.

පලමු පෙල කළමණාකරුවන් සතු වගකීම්;

  1. අග්‍ර හෝ මධ්‍ය කළමණාකරුවන්ගේ උපදෙස්, මගපෙන්වීම්, නිර්දේශ හා සැළසුම් ක්‍රියාත්මක කිරීම
  2. සේවක-සේවිකාවන් අධීක්ෂණය, මගපෙන්වීම හා පාලනය.
  3. තමන්ට විසඳීමට අපහසු (හෝ අධිකාරියක් නොමැතී) ගැටළු සහගත අවස්ථා හා වැදගත් තොරතුරු ඉක්මණින් මධ්‍ය කළමණාකාරිත්වයට දැනුම් දීම


කළමණාකරණ මට්ටම් පිලිබඳව ප්‍රායෝගික උදාහරණයක්.

කාගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ කිස්ට් සමාගමේ අග්‍ර කළමණාකාරිත්වය, සිය වාර්ෂික උපායමාර්ගික සැළැස්මක් සකස් කොට ඇති අතර, ඒ අනුව ඉදිරි වසර තුන තුලදී ආයතනය සාධනය කරගත යුතු උපාය මාර්ගික අරමුණු හඳුනාගෙන ඇත.

අග්‍ර කළමණාකාරිත්වය සකස්කල උපාය මාර්ගික සැලැස්මට අනුව ඉදිරි වසර තුන අවසන් වන විට;

1/ කිස්ට් සන්නාමය වෙළඳ පොල කොටස 30%කින් වර්ධනය කරගත යුතුය
2/ කිස්ට් සමාගමේ වාර්ෂික ආදායමෙන් 25% අලුත් නිෂ්පාදන තුලින් ලබාගත යුතුය.
3/ වාර්ෂික දල ලාභය 20%ක වර්ධනයක් පෙන්විය යුතුය

අග්‍ර කළමණාකාරිත්වය හඳුනාගත් පලමු අරමුණ සළකා බැලූවිට (කිස්ට් සන්නාමය වෙළඳ පොල කොටස 30%කින් වර්ධනය කරගත යුතුය) , 

මධ්‍ය කළමණාකාරිත්වය

එම අරමුණ සාධනය කරගැනීම සඳහා පහත දැක්වෙන ලෙස Kist මධ්‍ය කළමණාකාරිත්වය ක්‍රියාත්මක විය යුතුය.

I. කිස්ට් අලෙවි කළමණාකරු (Kist Sales Manager) - 

  1. කිස්ට් නිෂ්පාදන දැනට අලෙවි නොකරන සිල්ලර වෙළඳුන් ඒවා අලෙවියට යොමුකර ගැනීමේ සැලසමක් සකස් කල යුතුය.
  2. කිස්ට් නිෂ්පාදන පාරිභෝගිකයින්ට රෙකමදාරු කිරීම සඳහා සිල්ලර වෙළදුන්ගේ සහය ලබාගැනීමේ සැලසුමක් සකස් කල යුතුය
  3. අලෙවිය ව්‍යාප්ත කිරීම සඳහා අලෙවි නිළධාරීන් දිරිමත් කිරීමේ සැලැස්මක් සකස් කල යුතුය
  4. අලුත් අලෙවි නිළධාරීන් අවශ්‍ය නම් එම ප්‍රමාණ ඇස්තමේන්තු කොට සපයා ගැනීම සඳහා සැලසුම් කල යුතුය.

II. කිස්ට් සන්නාම කළමණාකරු (Kist Brand Manager)

  1. කිස්ට් සන්නාමය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රචලිත කිරීමේ උපක්‍රම හඳුනාගත යුතුය.
  2. කිස්ට් නිෂ්පාදන වැඩි වැඩියෙන් භාවිතා කිරීම සඳහා පාරිභෝගිකයින්ට විවිධ  දිරිගැන්වීම් ඇතුලත් සැලසුම් සකස් කල යුතුය.
  3. සමාජ ජාල උපයෝගීකරගෙන නව ප්‍රචාරණ සැලැස්මක් සකස් කල යුතුය.


III. කිස්ට් නිෂ්පාදන කළමණාකරු (Kist Production Manager)

  1. අලෙවිය ඉහල යන ආකාරයට නිෂ්පාදනය ඉහල දැමීමේ සැලැස්මක් සකස් කලයුතුය
  2. ඒ සඳහා අවශ්‍ය සේවක දිරිගැන්වීම් සැලැස්මක් සකස් කල යුතුය
  3. නව සේවකයින් අවශ්‍ය නම් එම ප්‍රමාණ ඇස්තමේන්තු සකස් කල යුතුය
  4. අලුත් නිෂ්පාදන යන්ත්‍ර-සූත්‍ර අවශ්‍ය නම් ඒවා සපයාගැනීම සඳහා සැලසුම් සකස් කල යුතුය.

IV. කිස්ට් මානව සම්පත් කළමණාකරු (Kist Human Resources Manager)

පලමු පෙල කළමණාකරුවන්

මධ්‍ය කළමණාකරුවන්, අග්‍ර කළමණාකරුවන්ගේ උපාය මාර්ග සැලසුම සාර්ථක කර ගැනීමට සිය දෙපාර්තමේන්තු සැලසුම් සකස් කරන ආකාරයටම, එම දෙපාර්තමේන්තුවල මධ්‍ය කළමණාකරුවන් යටතේ සිටින පලමු පෙල කළමණාකරුවන්ද ක්‍රියාත්මක විය යුතුය.

උදාහරණයක් ලෙස, අලෙවි කළමණාකරු යටතේ සිටින පලාත් අලෙවි කළමණාකරුවන් (area sales manager), සිය පලාතේ අලෙවි නිළධාරී කණ්ඩායම් දිරිමත් කිරීම, අලුත් සිල්ලර වෙළඳුන් හඳුනාගැනීම, සිය අලෙවි නිළධාරීන් වඩාත් කාර්යක්ෂමව යෙදවීම ආදිය පිලිබඳව සැලසුම් හා ක්‍රියාමාර්ග ගත යුතුය.

Comments