YEAR 13 / 2017 Syllabus - Lesson 01: කළමණාකරණයේ අවශ්‍යතාවය හා වැදගත් කම | The need and importance of Management


කළමණාකරණයේ අවශ්‍යතාවය හා වැදගත් කම

කළමණාකරණය සඳහා විවිධ නිර්වචන සකසාගෙන ඇත. මේවා ඉදිරිපත් කොට ඇත්තේ පර්යේෂකයින් හා කළමණාකරණය පිලිබඳ විශේෂඥයින්ය.

මීට අමතරව;

"Management is the art of knowing what you want to do and then seeing that they do it in the best and the cheapest way." - Frederick Taylor

කළමණාකරණය යනු කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීම හා එම කටයුතු හැකිතාක් හොඳින් හා අඩු පිරිවැයකින් සිදුකරගැනීමට සේවක ප්‍රජාව මෙහෙයවීමයි - ෆ්‍රෙඩෙරික් ටේලර්.

සැලකිය යුතු: ෆ්‍රෙඩෙරික් ටේලර් යනු විද්‍යාත්මක කළමණාකරණ චින්තනයේ පියා (Father of Scientific Management) ලෙස සැළකෙන නූතන ව්‍යාපාර කළමණාකරණ ක්ශේෂ්ත්‍රයේ දැවැන්තයෙකි. ඔබ විශ්වවිද්‍යාලයේදී ඔහුගේ සිද්ධාන්ත පිලිබඳව වැඩිදුර හදාරනු ඇත.

කළමණාකරණය - උසස් පෙල ව්‍යාපාර අධ්‍යයනය නිර්වචනය
කළමණාකරණය යනු ගතික ව්‍යාපාරික පරිසරය තුල සංවිධානයක (ව්‍යාපාරයක) ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ (Stated Objectives & Aims) සඵලදායිව ඉටුකරගැනීම සඳහා සංවිධානය සතු සම්පත් කාර්යක්ෂමතාවෙන් සැළසුම්කරණය (Planning), සංවිධානකරණය (Organizing), මෙහෙයවීම (Leading) හා පාලනය (Controlling) ඇතුලත් ඵලදායි ක්‍රියාවලියකි. 
නිර්වචනයෙන් මතුවන වැදගත් සංකල්ප

1] ගතික ව්‍යාපාරික පරිසරය (Dynamic Business Environment)

ව්‍යාපාරික පරිසරය ගතිකය. එනම් නිරන්තරයෙන් වෙනස් වේ. ව්‍යාපාරික පරිසරය අභ්‍යන්තර පරිසරය එනම් ව්‍යාපාරය තුල ඇති තත්වය හා ඉන් පිටත පරිසරයේ (Task Environmenet/Near Environment - ආසන්න පරිසරය හා Macro Environment - පොදු පරිසරය / සාර්ව පරිසරය) ඇති තත්වය නිරන්තරයෙන් වෙනස් වේ.

උදාරහණ:

අභ්‍යන්තර පරිසරයේ නිරන්තර වෙනස්කම්;

1/ අලුතින් සේවක සේවිකාවන් බඳවා ගැනීම හා ඔවුන් සතු දැනුම/ අත්දැකීම් ආයතනය තුලට ඇතුලුවීම
2/ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩළය නව ඉලක්ක හා අරමුණු (new aims & objectives) හඳුන්වාදීම
3/ එම ඉලක්ක සපූරාගැනීම සඳහා කළමණාකාරිත්වය (new strategies) අලුත් උපායමාර්ග හඳුන්වාදීම
4/ අලුත් තාක්ෂණයේ නිෂ්පාදන ක්‍රියාවලි හඳුන්වා දීම (new technology production processes)

බාහිර පරිසරය - ආසන්න පරිසරයේ වෙනස්කම්

1/ අලුත් තරඟකරුවන් බිහිවීම
2/ සැපයුම් කරුවන් අඩුවීම හෝ වැඩිවීම
3/ පාරිභෝගික රුචි-අරුචිකම් වෙනස්වීම
4/ ඉල්ලුම අඩු-වැඩි වීම
5/ නව තාක්ෂණය යෙදවීම නිසා කර්මාණතයේ නිෂ්පාදන පිරිවැය විශාල ලෙස අඩුවීම

බාහිර පරිසරය - පොදු පරිසරය / සාර්ව පරිසරය පරිසරයේ වෙනස්කම්

1/ ආර්ථිකයේ හදිසි වෙනස්වීම් - උදා: අප්‍රේල් 21 ත්‍රස්තප්‍රහාරය නිසා ඇතිවී ඇති තත්වය
2/ රජයන් විසින් අලුත් නීතිරීති, නියාමන ආයතන හඳුන්වාදීම. ඇමරිකානු රජයේ සම්භාදක නිසා චීනයේ Huawei සමාගමට අත්වී ඇති ඉරණම. එම සමාගමේ ජංගම දුරකථන ව්‍යාපාරය බොහෝ සෙයින් අඩපණවීමට මෙම සම්භාදක හේතුවී තිබෙනවා.
3/ සමාජයේ පැවති සමාජ-රටා වෙනස්වීම - උදා : ජනයාගෙන් වැඩි දෙනෙකු තොරතුරු ලබාගැනීම සඳහා සාම්ප්‍රදායක මාධ්‍ය අතහැර සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය වෙත යොමුවීම
4/ නව තාක්ෂණය නිසා ඇතිවන වෙනස්කම් - උදා: ස්මාර්ට්ෆෝන් ඇප්, අන්තර්ජාල පහසුකම් ආදිය නිසා නව ව්‍යාපාරික අවස්ථා බිහිවීම (Uber Food / Pick-Me Taxi / EBay / Amazon / Frimi)

2] ආයතන / සංවිධාන ලෙස ක්‍රියාත්මක වීම (Organisation)

අරමුණු/පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා එක්ව වැඩකරන පුද්ගලයින්ගේ එකතුවක් සංවිධානයක්, සමාගමක්, ආයතනයක් (organisation, company, firm, institution) යන වචන වලින් හැඳින්විය හැකිය.

මෙම සංවිධාන/ ආයතන සඳහා ආයතනික අරමුණු (organisational objectives) තිබිය හැකි අතර ඒවා සඵලකරගැනීම සඳහා ආයතනයේ කළමණාකාරිත්වය, සේවක-සෙවිකාවන් මෙහෙයවීම සිදුවනු ඇත. උදාහරණ : ලාභ ලැබීම, වෙළඳපොල පංගුව වැඩිකර ගැනීම, නව නිෂ්පාදන එලිදැක්වීම.

3] පරමාර්ථ හා අරමුණු (aims & objectives)

දිගුකාලීන පරමාර්ථ හා මධ්‍යකාළීන/කෙටිකාලීන අරමුණු  වශයෙන් ආයතන සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක හැඳින්විය හැකිය.

පරමාර්ථ දිගුකාළීනව සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තුවන ඉලක්ක ලෙසත්,  වඩාත් පැහැදිලිව නිර්වචනය කොට ඇති, නිෂ්චිත කාළවකවාණුවකදී සාක්ෂාත් කරගත යුතුබවට දක්වා ඇති ඉලක්ක අරමුණු ලෙසත් පැහැදිලිකල හැකිය.

උදාරහණ:

පරමාර්ථ (Aims) - කර්මාණ්තයේ නායකත්වය ලබාගැනීම
අරමුණු (Objectives) - වසර 2කදී වෙළඳපොල පංගුව 20%කින් වැඩි කර ගැනීම


ව්‍යාපාර සම්පත් - Resources of a Business

ව්‍යාපාර කටයුතු, එනම් එහි පරමාර්ථ හා අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගන්න යෙදැවුම් (inputs) සියල්ලම ව්‍යාපාර සම්පත් ලෙස හැඳින්විය හැකිය.

මෙම සම්පත් විවිධාකාරයෙන් වර්ගීකරණය කල හැකි අතර, එම ආකාර කිහිපයක් පහත දැක්වේ.


ව්‍යාපාරයක / ආයතනයක සම්පත් යෙදැවුම හා එයින් ලැබෙන ප්‍රතිඵල හා සම්බන්ධ සංකල්ප

1] සඵලදායකත්වය (Effectiveness)

අපේක්ෂිත අරමුණු නිවැරදිව ලඟාකර ගැනීම. මෙය නිවැරදි දේ කිරීම (doing the right thing) හෝ නිවැරදි තොරාගැනීම / තීරණය ගැනීම ලෙසද පැහැදිලි කල හැක. මෙය effectiveness ලෙස හැඳින්වේ.

උදාහරණ : Amazon.com සමාගමේ ආරම්භක වසර කීපයේදී, එහි නිර්මාතෲ Jeff Bezos ආයතනයේ ලාභදායිත්වය පිලිබඳව කිසිදු බරක් නොතබා හැකිතාක් පහත අරමුණු සඵල කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වුවා. 

1/ ආයතනයේ වෙළඳපොල පංගුව වැඩිකර ගැනීමට (increase market share) 
2/ උපරිම පාරිභෝගික තෘප්තියක් ලබාදීම (maximum customer satisfaction) 
3/ හැකිතාක් නව භාණ්ඩ වෙබ් අඩවිය හරහා අලෙවියට තැබීම (increase product offers)

එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඉතා විශාල පිරිවැයක් දැරීමටද ඔහු පසුබට වුනේ නෑ. ආරම්භක සමාගමක් ලෙස එවැනි විශාල පිරිවැයක් දැරිම නිසා Amazon.com සමාගම ලාභ ලැබීම බොහෝ සෙයින් ප්‍රමාදවුනා.

මෙහිදී ජෙෆ් බීසෝස් effectiveness හෙවත් සඵලදායිත්වය වඩාත් වැදගත් ලෙස සළකා ක්‍රියාකලා.

2] කාර්යක්ෂමතාවය (efficiency)

අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් (අවම යෙදැවුම් ප්‍රමාණයක් භාවිතා කරමින්) අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට සමත්වීම කාර්යක්ෂමතාවය ලෙස විස්තර කල හැකියි. මෙය doing things right හෙවත් නිවැරදි ආකාරයට යමක් සිදුකිරීම ලෙසද විස්තර කල හැකිය. අවම යෙදැවුම් ප්‍රමාණයකින් උපරිම ප්‍රතිපලයක් ලබාගැනීම කාර්යක්ෂමතාවය ලෙස හැඳින්විය හැකිය.

උදාහරණ : Apple සමාගම සිය වැනි භාණ්ඩ නිෂ්පාදනය චීනය වෙත රැගෙන ගියේ චීනයේ නිෂ්පාදන පිරිවැය, ඇමරිකාවේ නිෂ්පාදන පිරිවැයට වඩා බොහෝ සෙයින් අඩුවූ බැවිනි. එනම් චීනයේදී දුරකථනයක් නිපැයිමට යන පිරිවැය, ඇමරිකාවේ කර්මාණ්තශාලාවකදී එම නිෂ්පාදනය සිදුකිරීමට වඩා විශාල ලෙස අඩුවුනා.

එනම් ඇමරිකානු කර්මාණ්තශාලාවලට සාපේක්ෂව චීනයේ කර්මාණ්තශාලා කාර්යක්ෂම බව, එනම් අඩු යෙදැවුම් (මානව සම්පත් / කාරක ප්‍රාග්ධනය ආදිය ) ප්‍රමාණයකින් ඉහල ගුණාත්මක භාවයේ නිෂ්පාදනයක් කිරීමට සමත් වීම ගත හැකියි. Chinese factories are more efficient than American factories.

3] සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය අතර සම්බන්ධතාවය - Relationship between effectiveness and efficiency




1 අවස්ථාව - ඉතා කාර්යක්ෂමව අරමුණු සඵලකරගනී. ව්‍යාපාරයක උපරිම සාර්ථකත්වය ඇති අවස්ථාව. 

උදාහරණ ලෙස ඇපල්, සැම්සුන්ග්, මයික්‍රොසොෆ්ට්, ටොයෝටා වැනි සමාගම් ගත හැකිය. ඒවායේ වෙළඳ පොල සාර්ථකත්වයට හේතුව සඵලදායිත්වය හා කාර්යක්ෂමතාවය යන දෙකම එකවර ඇතිකරගැනීමට සමත්වීමයි.

2 අවස්ථාව - අරමුණු සඵලකරගන්නා නමුත් අකාර්යක්ෂමව එය සිදුවේ. එනම් අරමුණු සඵලකර ගැනීම සඳහා විශාල සම්පත් යෙදැවුමක් සිදුකරයි. මෙය කෙටි කාලීනව සාධාරණීකරණය කල හැකි නමුත්, මේ අවස්ථාව දිගුකාලීනව පැවැතීම, ව්‍යාපාරයේ නිසැක අසාර්ථකත්වයට හේතුවිය හැකිය.

ඇමසන් සමාගම සිය මුල් වසර කිහිපය තුල මේ ආකාරයෙන් ක්‍රියාත්මක විය. පසුව ඔවුන් සිය සමාගමේ මෙහෙයුම් 1 අවස්ථාව වෙත රැගෙන යන ලදී.

3 අවස්ථාව - සමාගම සිදුකරන කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුකරයි. එහෙත් සඵලදායිත්වයක් නැත. මෙයට හේතුවිය හැක්කේ ඉහල කළමණාකාරිත්වය විසින් සකස් කරන ලද දුර්වල උපායමාර්ග හෝ සැලසුම් හේතුවිය හැකිය. සේවක මඩුල්ල කෙතරම් කැපවීමෙන් වැඩ කලද (එනම් ඉහල කාර්යක්ෂමතාවයකින් ) අරමුණු සඵල කරගැනීමට අසමත්වේ.

අවස්ථාව - ව්‍යාපාරය සිය අරමුණු සඵල කරගැනීමට අසමත් වන අතර ඉතාමත් අකාර්යක්ෂමව ක්‍රියාත්මක වේ. නිසැක අසාර්ථකත්වයට හේතුවේ.

උදාහරණයක් ලෙස, Google සෙවුම් යන්ත්‍රයට පෙර ලොවට ඉදිරිපත්වූ  Yahoo!සෙවුම් යන්ත්‍රය දැක්විය හැකිය. ඔබ මෙම සමාගම ගැන අසා නොතිබීමට හේතුව එහි ව්‍යාපාරික නායකත්වය සඵලදායි නොවන අරමුණු වෙනුවෙන් විශාල ලෙස සම්පත් ආයෝජනය කොට අසාර්ථක වීමයි. එහෙත් ගූගල් සමාගම ආරම්භයේ සිටම 1 අවස්ථාවෙන් ක්‍රියාත්මක වීමෙන් අති විශාල සාර්ථකත්වයක් අත්කර ගන්න ලදී.

4] ඵලදායකත්වය (Productivity)

නියමිත කාළ පරිච්චේදයක් තුලදී ආයතනයේ යෙදැවුම් (Input) හා නිපැවුම් (Output) අතර අනුපාතය ඵලදායකත්වය ලෙස ගත හැකියි.


සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවය යන දෙකම එකවර ඉහල යනවිට ප්‍රථිපලය වන්නේ ඵලදායකත්වය ඉහල යාමයි. ඵලදායකත්වය --> සඵලදායකත්වය හා කාර්යක්ෂමතාවයට අනුලෝමව සමානුපාතිකය

එනම්;

1 අවස්ථාවේදී උපරිම ඵලදායකත්වයක් ලැබේ
2,3 අවස්ථාවලදි ඵලදායකත්වය අඩුවෙමින් යන අතර
4 අවස්ථාවේදී අවම ඵලදායකත්වයක් ලැබේ

5] ක්‍රියාවලිය (Process)

එකිනෙකට සම්බන්ධව, අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් (activities) සමූහයක එකතුවක් ක්‍රියාවලියක් (process) ලෙස හැඳින්විය හැකිය.

කළමණාකරණය යනු ක්‍රියාවලියකි. එයට සබැඳි, අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් වන්නේ 1/ සැළසුම්කරණය (planning) 2/ සංවිධානකරණය (organizing) 3/ මෙහෙයවීම (leading) 4/ පාලනය (controlling) යන ක්‍රියාකාරකම්ය.

ආයතනවල, ව්‍යාපාරවල, සංවිධානවල හා පුද්ගලයින්ගේ පරමාර්ථ හා අරමුණු සාධනය සඳහා කළමණාකරණය අත්‍යාවශ්‍යය.

කළමණාකරණයේ වැදගත් කම

පුද්ගලයින් සඳහා කළමණාකරණය වැදගත් ඇයි?

1/ අපේක්ෂාවන්, බලාපොරොත්තුවූ ලෙසම ඉටුකර ගැනීමට - උදා: උසස් පෙල ඉහලින් සමත්ව විශ්වවිද්‍යාලයකට ඇතුලත්වීමට සුදුසුකම් ලැබීම
2/ ආදායම් වැඩිකරගැනීමට හා වියදම් පාලනය කරගැනීමට
3/ කාළය නිසිලෙස යොදවා ගැනීමට
4/ රැකියාවේ සාර්ථකත්වයට හා උසස්වීම් ලබාගැනීමට

ආයතන, සංවිධාන හා ව්‍යාපාර සඳහා කළමණාකරණය වැදගත් ඇයි?

1/ වෙළඳපොල කොටස ඉහල දමාගැනීමට
2/ නව නිපැයුම් බිහිකිරීමට
3/ සන්නාම ප්‍රවර්ධනය කරගැනීමට
4/ තරඟකරුවන් අභිබවා ඉහලට යාමට
5/ උපරිම ඵලදායිතාවය ලබාගැනීමට සම්පත් යොදවා ගැනීමට
6/ ව්‍යාපාරයේ උපායමාර්ග නිසිලෙස සකස්කර ගැනීමට
7/ නව අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට
8/ ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටුකිරීමට හැකිවන ලෙස ක්‍රියාත්මක වීමට
9/ පාරිභෝගිකයින් තෘප්තිමත් කොට රඳවා ගැනීමට
10/ සමාජ වගකීම් ඉටුකිරීමට


Comments

  1. අතිශයින්ම වැදගත් සටහනකි..

    ReplyDelete

Post a Comment